01. භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ සිත දියුණු කරන්න පුළුවන් කියලා ඉස්සර වෙලාම අපට කියල දුන්නේ බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ තමන් වහන්සේගේ සිත සම්පූර්ණයෙන්ම දියුණු කරල, ඉහළම තලයට දියුණු කරල එය අපට පෙන්වා වදාළා. සිත දියුණු කරගන්නා ක‍්‍රමය භාවනාව යනුවෙන් හඳුන්වමු.

ලෝකයේ සිත දියුණු කරන සුළු පිරිස අතරට ඔබත්…

ඔබට පුළුවන් නම් භාවනාව දියුණු කරගන්නට මේ ජීවිතයේදීම ඔබේ සිත වේගයෙන් දියුණු වෙන්න පටන් ගන්නවා. මේ සඳහා ඔබට සිතන්න පුළුවන්කම තිබිය යුතුයි. ඔබට බැරි නම් කල්පනා කරන්න, ඔබට සිත දියුණු කරන්න බැරිව යනවා. බොහෝ දෙනෙක් මේ සිත දියුණු කරන්නේ නෑ. මේ ලෝකේ ස්වල්ප දෙනයි සිත දියුණු කරන්නේ. අන්න ඒ ටික දෙනා අතරට ඔබට පැමිණෙන්නට පුළුවනි. බොහෝම සිහි කල්පනාවෙන් යුතුව, බොහෝ අවධානයෙන් යුතුව මෙය හදාරන්න. අපි ක‍්‍රම ක‍්‍රමයෙන් කියාදෙනවා ජීවිතයේ ගැඹුරක් දකින්නට හැකි අයුරු.

භාවනාවට ඔබත් සුදුස්සෙක්ද?

බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සිත දියුණු කරපු කෙනෙක් කියලා ඔබ තුළ තියෙන ප‍්‍රසාදය ඉතා වැදගත්. මේකට කියනවා ශ‍්‍රද්ධාව කියලා. සිත දියුණු නොකරපු කෙනෙකුගේ උපදෙස් වලින් අපට සිත දියුණු කරන්න බෑ. අපිට සිත දියුණු කරන්න පුළුවන් වන්නේ සිත දියුණු කරපු කෙනෙකුගේ උපදෙස් වලින්මයි. ඒ සඳහා අපට බුදුරජාණන් වහන්සේ හැර මේ ලෝකේ වෙන කවුරුවත් මුණ ගැහෙන්නෙ නෑ. ඒ තරමටම උන්වහන්සේ සිත දියුණු කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ උපදෙස් උන්වහන්සේ ජීවිතය ගැන කියා දීපු දේ හොඳින් දැනගෙන ඒ දැනගත් කරුණුවලට අනුව ජීවිතය හසුරුවාගන්න පුළුවන් වුණොත් ඔබ භාවනාවෙන් දියුණු වෙන්න සුදුසුකම් ලබනවා.

දුර්ලභ ක්ෂණ සම්පත්තිය….

ඔබට වුවමනා වන්නේ විශේෂයෙන්ම හිතන්න පුළුවන්කම. හිතන්න පුළුවන් කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණගැහිලා, ඒ ධර්මය කෙරෙහි ශ‍්‍රද්ධාව ඇතිවුණාම ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය කියල. මෙන්න මේ ක්ෂණ සම්පත්තිය ගොඩක් දුර්ලභ එකක්. බුදු රජාණන් වහන්සේ ඒ වගේම උන්වහන්සේගේ ශ‍්‍රාවකයන් වහන්සේලා නිතරම පවසන දෙයක් තමයි මේ ක්ෂණ සම්පත්තිය අහිමි වෙච්ච අය අපායේ වැටිලා දුක් විඳිනවා කියන එක. අපි දැන් මේ මිනිස් ලෝකේ හිටියට අපට තියෙන මේ කාලය කෙමෙන් කෙමෙන් ගෙවිලා යන එකක්.

අපට ලෙඩ වෙලා යන ජීවිතයක් මේ ලැබිලා තියෙන්නේ. අපි මරණයට පත්වෙලා නිමාවෙන ජීවිතයක් ලැබිල තියෙන්නේ. ඒ නිසා මේ ජීවිතේ අපි මරණයට පත්වෙන්න ඉස්සර වෙලා, ලෙඩ වෙන්න ඉස්සර වෙලා, අපේ සිහි කල්පනාවේ වෙනසක් වෙන්න ඉස්සර වෙලා, හොඳට සිහිය තියෙන වෙලාවේ, හොඳට ශ‍්‍රවණය තියෙන වෙලාවේ, හොඳට කල්පනාව තියෙන වෙලාවේ, හොඳට යමක් කමක් තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙලාවේ ඔබේ සිතේ ශ‍්‍රද්ධාව ඇතිවෙලා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන ඔබට සිතන්න පුළුවන්කම තියෙනවා නම්, ඔබට ඒ දුර්ලභ ක්ෂණ සම්පත්තිය ලැබෙනවා.

අධිෂ්ඨානයෙන් සිත මැඬලන්න….

දැන් ඔබ මිනිස් ලෝකේ ඉපදිලා ඉන්නවා. දැන් ඔබට හිතන්න පුළුවන්කම තියෙනවා. මේ හිතන්න පුළුවන්කමත් සමඟම ඔබ හිතන්න පුළුවන් බව දියුණු කරන්න ඕනෙ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා. ඒ අසන්නා වූ ධර්මයට අනුව ඔබට ශ‍්‍රද්ධාවක් ඇතිවෙලා ඔබ කල්පනා කරනවා ”මම ධර්මය ප‍්‍රගුණ කරන්න ඕනෙ කියල” අන්න ඒ මොහොතේ ඉඳලා ඔබට ක්ෂණ සම්පත්තිය ලැබෙනවා. මෙන්න මේ ක්ෂණ සම්පත්තිය අහිමි කරගන්න එපා. මේක අපට දියුණු කරගන්න පුළුවන්. හැබැයි මේ සිතේ ස්වභාවය තමයි එක දිගට යමක් අධිෂ්ඨානයෙන් කරගන්න තියෙන අමාරුව. භාවනා කරන්න කෙනෙක් ගියත්, සිල් ආදී ගුණධර්ම පුරුදු කරගන්න ගියත්, සිත දමනය කරන වැඩපිළිවෙලකට ගියත්, සිත දියුණු කරන වැඩපිළිවෙලකට ගියත්, මේක කරගන්න බෑ. නොහිතන විදිහට මෙයා කැරකිලා ආයෙත් හිටිය තැනටම වැටෙනවා. මෙන්න මේ තත්වය ඔබ හඳුනාගෙන විශේෂයෙන්ම අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනෙ. මම මේ දැනගන්න ධර්මය හොඳින් හිතට ගෙන මේ බලන්නා වූ ධර්මයට අනුව මම මගේ චින්තනය මෙහෙයවලා මම සිත දියුණු කරනවා කියල ඔබ කල්පනාවක් ඇති කර ගත යුතුයි.

සිත දියුණු කිරීමෙන් ලැබෙන ප‍්‍රයෝජන..

සිත දියුණු කිරීමේදී සිදුවන විශේෂත්වය නම් ඔබ ගුණධර්ම වලින් දියුණු වීම. ඔබේ මනස දියුණු වුණොත් ඔබ තුළ ගොඩනැගෙනවා පෞරුෂයක්. පෞරුෂයක් ගොඩනැගෙනවා කියන්නේ ඔබ තුළ ගොඩනැගෙනවා අභිමානවත් බවක්. ඔබ තුළ ගොඩනැගෙන පෞරුෂය එක්ක මානසිකව ඔබ දියුණු වෙනවා මිසක් පිරිහෙන්නෙ නෑ. ඒ නිසා ඔබ තව කෙනෙකුට ඊර්ෂ්‍යයා කරන්න යන්නේ නෑ. ඒ නිසා ඔබ තව කෙනෙක් එක්ක තරහ වෙන්න පළිගන්න යන්නෙ නෑ. අනුන්ගේ දියුණුවට ද්වේශ කරන්න යන්නේ නෑ. ඔබ එ් සියල්ලන් කෙරෙහි සතුටු වෙනවා. මේ ස්වභාවය තමයි ඊළඟට ඔබට ඇතිවෙන මානසික දියුණු තත්වය. මේ දියුණු තත්වය ලබාගන්න පුළුවන් වෙන්නේ සිත දියුණු කරගැනීමෙන් තමයි. සිතේ දියුණුව කියන්නේ ඒකයි.

ඔබේ සිත දියුණු වෙන කොට ඔබ ගුණ ධර්ම වලින් දියුණු වන කෙනෙක් වෙනවා. ඒ කියන්නේ ඔබ අනුන්ගේ දියුණුවට අනුන්ගේ යහපතට සතුටු වෙනවා. ඊර්ෂ්‍යයා කරන්නේ නෑ. අනුන්ගේ දැන උගත්කම් ගැන සතුටු වෙනවා. අනුන්ගේ හැකියාවන් ගැන ඔබ සතුටු වෙනවා. මෙන්න මේවා තමයි දියුණු වෙන සිතක ඇතිවෙන ලක්ෂණ. අන්න ඒවා ඔබ තුළ ඇතිවෙන්න පටන් ගන්නවා. එවිට ඔබ තේරුම් ගන්න ඔබ තුළ තිබෙනවා දියුණු කළ හැකි, දියුණු වන සිතක්. මෙන්න මේ සිත දියුණු කරන්න පුළුවන් ප‍්‍රධාන භාවනා ක‍්‍රම තියෙනවා. අන්න ඒ භාවනා ක‍්‍රම බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ.

භාවනාව යනු….

භාවනාව කියන්නේ අපේ මනස හසුරුවන වැඩ පිළිවෙලක්. අපේ මනස යම්කිසි ක‍්‍රමාණුකූල පිළිවෙලකට හසුරුවනවා නම් එයටයි භාවනාව කියන්නේ. මේ ක‍්‍රමානුකූල පිළිවෙළකට මනස හැසිරවීමෙන් අභ්‍යන්තර ජීවිතය පිරිසිදු වෙනවා. අභ්‍යන්තර ජීවිතය පිරිසිදු වීම නිසාම ඔබේ ජීවිතය ටික ටික සුවපත් වෙන්න පටන් ගන්නවා. ඔබ ටික ටික ධෛර්යය සම්පන්න වෙන්න පටන් ගන්නවා. ටික ටික වීර්යවන්ත වෙන්න පටන් ගන්නවා. ඔබ සතුටින් ඉන්න පුරුදු වෙනවා. ඔය හැමදේම ලැබෙනවා මනස දියුණු කිරීමෙන්.

දැන් බලන්න අපේ වයස සෑහෙන්න ගෙවිලා. නමුත් අපට බැරිවුණා මනස දියුණු කරගන්න. මේ මනස දියුණු කරගන්න බැරිවුන එක අපේ ජීවිතවලට සිදුවුන විශාල පාඩුවක්. මෙන්න මේ පාඩුවෙන් වැළකිලා මනස දියුණු කරගන්න ලැබනු අවස්ථාව අපි මේ ජීවිතේ දිගින් දිගටම ආරක්ෂා කරගෙන දියුණු කරන්නට ඕනේ.

ස්වාධීන චින්තනයක් ඇති කරගනිමු….

මේකට විශේෂයෙන් වැදගත් වෙනවා ස්වාධීනව හිතන්න පුළුවන්කමක් තිබීම. ස්වාධීනව හිතන්න පුළුවන්කම කියන්නේ, දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මම ඔබට කියා දෙන කොට ඔබට මේ කෙරෙහි පැහැදීමක් ඇතිවෙන්න ඕනේ. මේ කියා දෙන්නා වූ ධර්මය, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය, මේක මට ප‍්‍රගුණ කරන්න පුළුවන් කියලා නිසැක භාවයට පත්වෙන්න ඕනේ ශ‍්‍රද්ධාව තුළින්. අන්න ඒ තුළින් ඔබ තුළ ගොඩනැගෙන්නේ ස්වාධීන චින්තනයක්. එතකොට කවුරු හරි කිව්වොත් ”නෑ… නෑ.. භාවනා කරන්න ඕනෙ නෑ. ඔය භාවනා කරලා වැඩක් නෑ. ජීවිත අවබෝධයක් අපට ඕනෙ නෑ. ඔබ ගිහි ජීවිතය ගත කරන කෙනෙක්. ඔබට ඒක අදාල නෑ” කියලා, එතකොට ඔබ කෙළින්ම පිළිගන්නවා ඒක වැරදි මතයක්, වැරදි අදහසක්, වැරදි දෘෂ්ටියක් කියල.

මේ නිසා ඔබට පුලුවන් පැහැදිලි චින්තනයක ඉන්න. ඔබේ සිතේ වටිනාකම තියෙන්නේ ඔබ තුළ. ඒ නිසා බාහිර කෙනෙකුගේ මතවාදයක් තුළින් ඔබේ මනස පිරිහෙන්න දෙන්න එපා. බාහිර කෙනෙකුගේ මතවාදයකට ඇහුම්කන් දීලා ඔබේ ජීවිතය අයාලේ යන්න දෙන්න එපා. ඒ සඳහා ඔබට කරන්න තියෙන්නේ ඔබේ ජීවිතයට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා දැඩි මතයකට පැමිණෙන්න ඕනෙ. ඒ දැඩි මතය තුළ ඔබ ශ‍්‍රද්ධාවන්ත කෙනෙක් බවට පත්වෙනවා. මෙන්න මේ ශ‍්‍රද්ධාව මුල් කරගෙන ඔබ ගෞතම බුද්ධ ශාසනයට ටිකෙන් ටික පැමිණෙනවා.

ඔබටත් අභිමානවත් චරිතයක්….

ගෞතම බුද්ධ ශාසනය තුළට ටිකෙන් ටික ඔබ පිවිසෙන විට ශ‍්‍රද්ධාව මුල් කරගෙන ඔබේ ජීවිතය ටිකෙන් ටික ශක්තිමත් වෙනවා. ඔබ ආධ්‍යාත්මිකව බල සම්පන්න වෙනවා. බාහිර අදහස්වලට කරුණු රහිතව බැඳෙන ගතිය නැතිවෙලා බොහොම සාධාරණව කරුණු විමසා බලලා සාධාරණ පැත්ත ගන්න පුළුවන් අභිමානවත් චරිතයක් ඔබ තුළ ගොඩනැගෙනවා. එවැනි දුර්ලභ අවස්ථාවක් ඔබට ලබා දෙන්නේ භාවනාව තුළින්. ඒ නිසා ඔබට මේ භාවනාව කරගෙන යාමට දැන් ඉගෙන ගත් කරුණු මනා පිටුවහලක් වෙනවා.

 

 

භාවනා ක්‍රම ඉගෙනගැනීමට පිවිසෙන්න...